පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඬ
මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
දොර දෙකේ දිග බස්වල සුදු ඇදන් පැමිණෙන නඩ
වතු සුද්ද මල් හිනා වෙනවා, සිලි බෑග්වල අඬ, අඬ
දෑතේ රේඛා පීරන
පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන
ජිවිතේ ඇයි කුණාටු?
උඹ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ළඟ ඉඳගෙන
මොන පාරේ යනවද?, "හෝ දහය විස්ස තිහ" ගැන, ගැන
අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන
දෑතේ රේඛා පීරන
පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන
ජිවිතේ ඇයි කුණාටු?
ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
විසඳන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
හුඟක් ඇස් නළලවල් වල උඹ කිව්ව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්
දෑතේ රේඛා පීරන
පනාවකි ඇස් පිහාටු
අනාගතයම තෝරන
ජිවිතේ ඇයි කුණාටු?
අපේ ජිවිත හැම තැනම පුරවන්න බැරි කුස්තුර
ඉනිවැටක් වත් නැතුව වැටවල් කොහෙද ලීස්තර
උඹ රේඛා ගනින අත්වල තියන අරුමෝසම් මෝස්තර
දුක හිතෙනකොට අහක බලපන්, කියපන් වැරදි සාස්තර
මහා කුණාටුවක් මැද
ජිවිතේ ඉරෙන රුවලක්
ඉසුරුමුණියෙත් ඉන්නවා
සාස්තර කියන යුවලක්