ප්රාණ සම පෙම ද්රෝහි වූ දා
ආත්මය විය කඨෝර
සිහින් කෙඳිරිලි කෝල හසරැලි
දවයි මා හද කුටීර
ඇනුම් හී වර්ෂා මැද
ලය දෙපළු කෙරුවා කෙඨේර
වෛරයත් පිරුණාම වැඩියෙන්
ගලන් යනවා පිටාර
ඵල තියෙන ගස් වටිනවාමයි
සැකක් නෑ එය ඇත්තයි
වඳ බැහැපු මං කොහොඹ ගානයි
කදුරු වාගේ තිත්තයි
බුදු පුදට වුව වරම් ලද්දේ
මලින් සැරසුණු ඉත්තයි
මගෙ හිමි ට මං පණ ඇරලා පෙම් කළා
සමිඳුනි සත්තයි
සත් කඩක් සේ පැළුනු හෘදය
කොහොම හරි මම මහන්නම්
කෝන්තර වල කැළැල් නුඹගේ
දෙපා මුලදිම වහන්නම්
සසර දුර වූවාට කම් නෑ
යශෝදරා මුණ ගැහෙන්නම්
ඈව තනිකර සමිඳු ගිය දුක
දරාගත් හැටි අහන්නම්