ප්රාණ සම පෙම ද්රෝහි වූ දා
ආත්මය විය කඨෝර
සිහින් කෙඳිරිලි කෝල හසරැලි
දවයි මා හද කුටීර
ඇනුම් හී වර්ෂා මැද
ඇය දෙපලු කෙරූවා කෙටේර
වෛරයක් පිරුණාම වැඩියෙන්
ගලං යනවා පිටාර
ඵල තියන ගස් වටිනවාමයි
සැකක් නෑ එය ඇත්තයි
වඳ බැහැපු මං කොහොඹ ගානයි
කදුරු වාගේ තිත්තයි
බුදු පුදට වුව වරම් ලද්දේ
මලින් සැරසුණු ඉත්තයි
මගෙ හිමිට මං පණ ඇරලා පෙම්
කළා සමිඳුනි සත්තයි
සත් කඩක් සේ පැළුණු හෘදය
කොහොමහරි මං මහන්නං
කෝන්තරවල කැළැල් නුඹගේ
දෙපා මුලදිම වහන්නං
සසර දුර වූවාට කම් නෑ
යශෝධරා මුණ ගැහෙන්නං
ඇයව තනිකර සමිඳු ගිය දුක
දරාගත් හැටි අහන්නං